ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය වාර්ෂිකව සමරනු ලබන්නේ සෑම වසරකම දෙසැම්බර් මස 03 වැනි දිනයි. ඊට සමගාමීව වර්ෂ 2022 වූ දෙසැම්බර් 21 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ විසින් ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය ඉමහත් හරසරින් හා අර්ථවත්ව සමරනු ලැබීය. එහි තේමා පාඨය වූයේ "අපේ කතාව" යන්නයි.

මෙරටේ දිවිගෙවන ලක්ෂ 16කට ආසන්න ආබාධ සහිත තැනැත්තන්ගෙන් ලක්ෂ 12ක් පමණ ශ්‍රී ලාංකේය ඡන්ද අයිතිය හිමි පුරවැසියෝ ය. ඔවුන් ගෙවී ගිය දශක කිහිපය තුළ ආර්ථික, සමාජීය සහ දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන් අසාධාරණයන්ට ලක් වී ‍ ඇති බව ප්‍රකට කරුණකි.

ආබාධ සහිත තැනැත්තන් සමාජයේ අනෙකුත් පුරවැසියන් භුක්ති විඳින සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ස්වාධීන දිවියක් ගත කිරීම සඳහා පැවතිය යුතු ශක්‍යතාවයෙන් ආන්තීකරණයට ලක්කොට ඇත්තේය. එපමණක් නොව, පුරවැසියෙක් වශයෙන් භුක්ති විදිය යුතු මූලික අයිතිවාසිකම් ද ඔවුන්ට සීමා වී ඇත.

ඒ අනුව මෙදින පැවති මෙම විශේෂ සැමරුම් වැඩසටහනෙහි මූලික අභිලාශය වූයේ, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දේශපාලන අධිකාරිය, ප්‍රතිපත්ති සම්පාදකයින්, රාජ්‍ය නිලධාරීන් සහ පුද්ගලික අංශයේ නියෝජිතයින් ප්‍රමාණාත්මකව දැනුම්වත් කිරීමයි.

එහිලා ඒකාබද්ධ පෙරමුණේ ආරාධනය මත කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජී. එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, හර්ෂ ද සිල්වා, තිස්ස අත්තනායක, අජිත් මාන්නප්පෙරුම, අරවින්ද් කුමාර්, හේෂා විතාරණ, නාලක ගොඩහේවා, ප්‍රේමනාත් දොලවත්ත යන දේශපාලන නියෝජිතයින් සහභාගී වූහ.

එසේම මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලය සහ නොර්වේ තානාපති කාර්යාල නියෝජිතයින් ද, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් ද සහභාගී වූහ. පෞද්ගලික අංශය නියෝජනය කරමින් ජෝන් කීල්ස් ආයතනය ද තම සක්‍රීය සහභාගිත්වය මීට ලබාදුන් අතර පැරා ඔලිම්පික් කමිටු නියෝජිතයෝ ද තම සහභාගිත්වය දැක්වූහ. ඊට සමාන්තරව මෙරටේ ව්‍යාප්තව පවතින්නා වූ ආබාධ සහිත පුද්ගල සංවිධාන නියෝජනය කරමින් ඒවායේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඒ්කාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් නිතීඥ නිහාල් පරණගම, රසාංජලි පතිරගේ, බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු, ටිකිරි කුමාර ජයවර්ධන, සුභානි උදේශිකා, පුෂ්පා රාමනායක සහ ප්‍රසන්න වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙම වැඩසටහනෙදී අදහස් දැක්වූහ. ඔවුන් විසින් ආබාධ සහිත තැනැත්තන් මුහුණපාන ගැටලු පිළිබඳ විවිධ ක්‍ෂේත්‍ර නියෝජන කරමින්ද අදහස් දක්වන ලදි.

මෙම වැඩසටහනෙහි තවත් එක් විශේෂාංගයක් වූයේ National Democratic Institute (NDI) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරන ලද අන්තර්කරණයෙන් යුත් මැතිවරණයක් සඳහා වන වාර්තාමය වීඩියෝව ඉදිරිපත් කිරීමයි. NDI ආයතනය නියෝජනය කරමින් සහභාගී වූයේ එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාරිණිය වන තරංගා ගුණසිංහ මහත්මියයි.

මෙම සැමරුම් උළෙලේ තවත් එක් ආකර්ශනීය අංගයක් වූයේ සම්මානනීය ශ්‍රී ලාංකේය නර්තනාචාර්යවරයෙක් වන චන්දන වික්‍රමසිංහ මහතා යටතේ පුහුණු කරන ලද ආබාධ සහිත තැනැත්තන්ගෙන් සහ ආබාධ සහිත ළමුන්ගෙන් සැදුම්ලත් චිචිත්‍රවත් නර්තනාංගයයි.

 

 

Emergency Call

In case of urgent, feel free to ask questions.

Not readable? Change text. captcha txt
සිංහල